
ප්‍රශ්නය වන්නේ පිරිමියෙකුට, ආදර හසුනක අර්ථය යන්න බෙහෙවින් වැදගත්වීමයි. ස්ත්‍රියකගෙන් ආදර හසුනක් ලද විට, ඔහු එය වටහා ගැනීමටත්, එය පිරික්සමින් කියවා එහි සැගවුණු විමර්ශනයන් සහ රූපකයන් සොයාගැනීමටත් උත්සාහ දරනු ඇත. නමුත් ලිපියෙන් මොනයම් හෝ දෙයක් අදහස් වන බව අනුමාන කිරීමට කිසිදු හේතුවක් නැත. පිරිමියෙකු උත්සාහ දරනු ඇත්තේ මේ හිස් අවකාශය තුළට අර්ථයක් දැමීමටය: ස්ත්‍රියගේ ශරීරය කතා කරවීමට උත්සාහ දැරීමටය. නමුත්, ආදරය තුලදී පවා, අවසාන වශයෙන්, ස්ත්‍රියකගේ ශරීරය ඔහුට කතා නොකරනු ඇත. පිරිමියෙකුගේ ආදර හසුන (අවශ්‍යයෙන්ම ඔහු ආදරය කරන ස්ත්‍රියටම නොවුවත්* කතා කරනවා නම්, මේ අරුතින් ගත්විට, ස්ත්‍රියකගේ ආදර හසුන කවර ලෙසකින්වත් කතා කිරීමට අවශ්‍ය නොවෙයි. ‘පිටතින් සුළගක් නැති වුණත් මගේ නිදන කාමරයේ ජනෙල් පියන තදින් වැදෙමින් පවතිනවා’ යනුවෙන් සදහන් ලියුමක් පිරිමියෙකුට ලැබුණුවිට, ඔහු දිගු කලක් පුරා ඉන් කියවෙන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට උත්සාහ දරමින් සිටිය හැකි ය. නිදන කාමරය පිළිබදව කල සටහන් කිරීම ආරාධනයක්ද? පියන් වදින ජනේලය යනු ගැස්සෙන හදවතම බදු දෙයක්ද? පිටතින් සුළගක් නැත යන සදහනේ අරුත බලය පැමිණෙන්නේ ඇතුලතින් යන්නද? නමුත් ලියුම මේ කිසිවක් අදහස් නොකරනවා විය හැකි ය.
සිය පැවැත්ම වචන වලට ඌණනය කල නොහැකි බව පිරිමින්ද ගැහැණුන්ද දන්නවා වුවත්, පිරිමි එය වචනවලට හරියටම ඌණනය කරනු ස`දහා තමන්ට කල හැකි උපරිමය කරති: ඒ නිසා ඔවුන් සිය ජීවිත තුලට වත්පිළිවෙත් ගණනාවක් හදුන්වාදෙනු ඇත. ඔවුන්ගේ වාචික සූත්‍රයන් හෝ පුරුදුවල කෲරත්වය මඟින් ‘ජීවිතයේ’ මානය වාච්‍යාර්ථයෙන්ම විනාශකර දමනු ලබන අතර මේවා ඔවුන්ව ග්‍රස්තික නියුරෝසියාව තුල දී පීඩාවට පත් කිරීමට නැවත පැමිණෙනු ඇත. ස්ත්‍රියක්, මීට ප්‍රතිපක්ෂ ලෙස, හැමදෙයක්ම භාෂාව තුළට අවශෝෂණය කරගැනීම යනු කිසිදා සාක්ෂාත් කරගත නොහැක්කක්ය යන්න පෙන්වීම–එනම්, භාෂාව සහ පැවැත්ම අතර පරතරයක් ඇති බව පෙන්වීම සදහා, පුද්ගලයකුව වචනයකට, විස්තරයකට හෝ අර්ථයකට ඌණනය කල නොහැකි බව පෙන්වීම– වඩාත්ම හදිසි කාර්යයක් ලෙස සළකයි.
නිශාන්ත කුලරත්න විසින් පරිවර්තනය කරන ලද ඩෙරියන් ලීඩර් ගේ Why do women write more letters than they post? පොතින්
Advertisement